නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස ආරෝග්‍යපරමා ලාභා - සන්තුට්ඨිපරමං ධනං විස්සාසපරමා ඤාති - නිබ්බානපරමං සුඛං සැදැහැවත් පින්වතුනි, සැප, සහනය, සැනසීම ලඟාකර ගැනීමටයි හැම කෙනෙක්ම මුළු ජීවිතය පුරාම වෙහෙසෙන්නෙ. නමුත් ඒ ගන්න උත්සාහය තුළින් දුක අසහනය, වැනසීම ලඟාකර ගන්නවා නිතර දකින්න ලැබෙනවා. වැරදි මූලධර්ම, වැරදි ක්‍රියා මාර්ග, අනුගමනය කිරීම නිසයි ඒ විදියේ තත්ත්වයක් ඇතිවෙන්නෙ. බුදුපියාණන් වහන්සේ මතුකර දෙන වටිනාකම් හරියාකාරව තේරුම් ගත්තොත් කෙනෙකුට පුළුවන් වෙනවා සැප සහනය සැනසීම ලඟාකර ගන්න. අද අපි මේ මාතෘකා කරගත්තු ගාථා ධර්මයේ සඳහන් වෙන්නෙත් ඒ විදියේ වටිනාකම් හතරක්. මේ ගාථාව දේශනා කරන්ට යෙදුනෙ පසේනදි කොසොල් රජතුමාටයි. මේ කොසොල් රජ්ජුරුවන්ට පුරුදු වෙලා තිබුණා දිනපතා විශාල ආහාර ප්‍රමාණයක් අනුභව කරන්න. ද්‍රෝණයක් කියල කියන්නෙ ඒ කාලේ තිබුණු ලොකු ධාන්‍ය මිම්මක්. ද්‍රෝණයක්පමණ හාල්වල බත් අනුභව කරනවා කියල දක්වලා තියෙනවා එක වේලකට. එක දවසක්දා උදෑසන ඒ වගේ හුඟක් ආහාර අරගෙන ඇවිල්ලා බුදුපියාණන් වහන්සේ ළහට කෙළින් හරියට ඉඳ ගන්නවත් බැරුව ඒ අතට මේ අතට පෙරළෙමින්, බත් මතේ නිදිකිරා වැටෙමින් ඉන්නකොට බුදුපියාණන් වහන්සේ අහනවා, ඇයි මහරජ? ටිකක් විවේක අරගෙන නෙවෙයිද ආවෙ? කියල. එතකොට කියනවා, ස්වාමීනි මම මේ ආහාර ගත්තු හැටියෙයි ආවෙ. ආහාර ගත්තු වේලාවේ ඉඳලා බොහොම ඇඟට අමාරුයි කියල. එතකොට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, එසේය මහරජ ප්‍රමණට වඩා ආහාර ගැනීම තුළින් ඔය විදියට දුක ඇති වෙනවා කියලා රජුට ටිකක් උපහාසාත්මක අවවාදයක් වශයෙන් එක්තරා ගාථා ධර්මයක් වදාළා. මිද්ධී යදා හෝති මහග්ඝසෝ ච - නිද්දායිතා සම්පරිවත්තසායී මහාවරාහෝව නිවාප පුට්ඨෝ - පුනප්පුනං ගබ්භමුපේති මන්දෝ ඒ ගාථාවේ තේරුම - හුඟක් ආහාර අරගෙන නිදිමතේ ඒ අත මේ අත පෙරළෙමින් නිදාගන්නා මෝඩ පුද්ගලයා හරියට, මරන්න නොයෙකුත් ආහාර දීලා තරකරපු ඌරකු වගේ නැවත නැවතත් මව්කුසකට පැමිණෙනවා. කියලා ඒ විදියෙ ගාථාවක් බුදු පියාණන් වහන්සේ වදාරලා ඊළඟට තව දුරටත් ප්‍රකාශ කළා “මහරජ, ආහාරය කියන එක, ප්‍රමාණ දැන අනුභව කළයුතු දෙයක්. ප්‍රමණ දැන අනුභව කළාම තමයි ඇඟට සනීපයක් දැනෙන්නෙ” කියලා ඔන්න මේ අවවාදය මතක තියාගන්න කියලා තවත් ගාථාවක් වදාළා. මනුජස්ස සදා සතීමතො - මත්තං ජානතො ලද්ධභොජනෙ තනුකස්ස භවන්ති වේදනා - සණිකං ජීරති ආයුපාලයං ඒ ගාථාවෙ තේරුම - හැම කල්හිම සිහි ඇතිව සිටින, ලැබුණු ආහාරයෙහි පමණ දන්නා වූ මනුෂ්‍යයාට වේදනාවල් අඩුවෙනවය - ඒ මනුෂ්‍යයාගේ වේදනා අඩුවෙනවය - ඒ වගේම ආයුෂය පාලනය කරගනිමින්, හෙමින් ජරාවට, මහලු වයසට, පත්වෙනවය කියල ආනිසංසයක් ප්‍රකාශ කළා, අර ආහාර අඩුවෙන් ගැනීමේ. මේ ගාථාව ප්‍රකාශ කළාට මොකද රජතුමාට මේක කටපාඩම් කරගන්න බැරි උනා. ඒ තරමට නිදිමතයි. ඉතින් රජ්ජුරුවෝ ඊළඟට කියනවා තමන් එක්ක ආ ඒ සුදස්සන කියන තමන්ගේ බෑණා වන තරුණයාට “මං වෙනුවෙන් මේක කටපාඩම් කරගන්න” කියලා. සුදස්සන මාණවකයා මේ ගාථාව කටපාඩම් කරගෙන බුදුපියාණන් වහන්සේගෙන් අසුවා “මොකක්ද භාග්‍යවතුන් වහන්ස මේ ගාථාවෙන් කරන්නෙ?” කියල. භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දෙනවා මේ රජ්ජුරුවෝ ආහාර ගන්න වේලාවට පැත්තකින් ඉඳගෙන හරියට අන්තිම බත් පිඩ කට ළහට එනකොට මේ ගාථාව කියන්නය, එතකොට රජ්ජුරුවො ගාථාවේ අර්ථය සළකල ඒ බත් පිඬ පැත්තකට කරාවිය, ඒ බත් පිඬේ තියෙන බත් ඇට ගණනට හාල් අඩු කරලා ඊළහ දවසේ සුදානම් කරලා තියන්න. ඒ විදියට ක්‍රම ක්‍රමයෙන් රජුට ආහාර අඩුකරන පිළිවෙත පුරුදු කරන්නය. ඉතින් ඒ විදියටම අර සුදස්සන මාණවකයා ක්‍රියා කළා. රජ්ජුරුවො වෙන එකක් තබා ඒ ගාථාව කියන කොට දාහක් තෑගි දුන්නා අර සුදස්සන මාණවකයට. ඔය විදියට කීප දවසක් කරගෙන යනකොට රජ්ජුරුවන්ට නැළියක් පමණ ආහාරයකින් යැපෙන්න පුළුවන් තත්ත්වයක් පැමිණියා. ඒ එක්කම ඒකේ ආනිසංස හැටියට රජ්ජුරුවන්ට ලොකු කායික පහසුකමක්, සැහැල්ලු බවක්, ශක්තියක්, වීර්යයක්, ඇති උනා. ඉතින් ඒ විදියට ඒකෙ ආනිසංස දැකලා එක දවසක්දා රජ්ජුරුවො බොහොම සතුටෙන් ඇවිල්ලා බුදුපියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා භාග්‍යවතුන් වහන්ස දැන් මට මුවෙක් පස්සෙ, අශ්වයෙක් පස්සෙ, ඵලවල අල්ලගන්න පුළුවන් තරමට ඇඟට ශක්තිය තියෙනවා. ඇඟ දැන් බොහොම සැහැල්ලුයි අර ඉස්සර තිබුණු තරබාරු ගතිය නෑ. බොහොම සනීපයි. මේක මට බොහොම සැපයට හේතුවුණු දෙයක් කියල, තවත් සැපයකට හේතුවුණු කාරණා කීපයක් ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා. පහුගිය දවස්වල මට මගේ බෑනණුවන් වන අජාසත් රජු එක්ක සටන් තිබුණා. දැන් ඒ සටන් මං සන්සිඳුවාගෙන තියෙන්නෙ, මගේ දියණිය වන වජිරා කුමාරිය ඒ රජුට පාවාදීලා ඒ වගේම ඒ සටනට හේතුවුණු - කාසි කියන ගමේ අයිතිය පිළිබඳ ප්‍රශ්නය උඩයි ඒ සටන ඇති වුණේ. - ඒ කාසි කියන ගමත් ඒ දියණියට නානහුණු - නෑමේදී පාවිච්චි කරන හුණුවලට ගාස්තු, ඒ කියන්නෙ දායාදයක් හැටියට හරියට සබන් වියදම කියල කියන්න පුළුවන් මේ කාලේ හැටියට කියනව නම් - ඒක රජවරුන්ගෙත් එක්තරා මෝස්තරයක්. ඒ දියණියට දායාද කරලා ඒ ගමත් හාර දුන්නය, දැන් ඒක නිසා සටන් නැතිවීම නිසා මට ඒකත් ලොකු සතුටක්ය, කියලා. තවත් සතුටට හේතුවක් කියනවා. පහුගිය දවසේ මේ රජ ගෙදර තිබුණු අපේ මේ කුලසන්තක මැණිකක් නැති වෙලා සොයාගන්න බැරිව තිබුණ. ඒකත් හදිසියේම හමුඋනා. ඒකත් මට සැපයට කාරණයක්. ඊළඟට හතරවෙනුව දක්වනවා තවත් කාරණයක්. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මා වඩාත් විශ්වාසවන්ත වෙන්න, ප්‍රියමනාප වෙන්න කාරණයක් හැටියට සළකලා භාග්‍යවතුන් වහන්සේගේ ඥාති දියණියක් - මේ කියන්නෙ ශාක්‍යකුලයේ ‘වාසභඛත්තියා’ කියන ඒ කුමාරි ගැනයි. - ඒ ඥාති දියණියක් මම සරණපාවා ගත්තාය. ඉතින් මේ විදියට කාරණා කීපෙකින් මට දැන් බොහොම සැපයක් සතුටක් ඇතිවෙලා තියෙනවා කියලා ප්‍රකාශ කළාම බුදුපියාණන් වහන්සේ අන්න ඒකට අදාළව තමයි මේ ගාථාව වදාළේ. එසේය මහරජ ලාභයන් අතුරෙන් නිරෝගී බව තමයි ලොකුම ලාභය. ධනයන් අතර ලදදෙයින් සතුටුවීම තමයි ලොකුම ධනය, පරමධනය. ඥාතීන් අතුරෙන් නෑයන් ගැන සළකල බලනකොට විශ්වාසය කියන කාරණය තමයි උතුම්ම නෑයා. ඊළඟට සැපත හැටියට සළකලා බලන කොට පරම සැපත නිවනය කියල ඒ අදහස දෙමින් මේ ගාථාව වදාළා. අපි කලින් සඳහන් කළ ගාථාව. ආරෝග්‍යපරමා ලාභා - සන්තුට්ඨිපරමං ධනං විස්සාස පරමා ඤාතී - නිබ්බාන පරමං සුඛං ඉතින් මෙන්න මේ ගාථාවත් ඒ වගේම මේකෙ තියෙන කථාන්තරයත් අපට බොහොම ආදර්ශවත්. පළමුවෙනි කාරණය අපට පැහැදිලිව පේනවා. නිරෝගිබව කියල ප්‍රකාශ කෙළේ රජතුමා හා සම්බන්ධ කාරණයයි. ආහාර ගැනීම පිළිබඳ ප්‍රශ්නයයි. එතෙන්දී අපි කල්පනා කරලා බලනවා නම් බුදුපියාණන් වහන්සේ ඒ රජතුමාගේ ආහාර ගැනීම පිළිබඳ ප්‍රශ්නය තුළින් කොයිතරම් වටිනා ධර්මයක් මතු කළාද කියලා, පළමුවෙන්ම අර වෙන එකක් තබා දුන් උපමාව පවා - අර ගාථාවේ ඌරෙකුගෙ උපමාව දක්වලා තිබෙනවා. බුදු පියාණන් වහන්සේ බය නෑ රජතුමාට වුනත් උපහාසාත්මකව යමක් කියන්න. ඒ තරමටම රජතුමාත් බුදුපියාණන් වහන්සේ කෙරෙහි පුදුම ගෞරවයක් ඇතිව හිටි කෙනෙක්. ඉතින් මේ ඌරා කියන සතා මේ පින්වතුන් කවුරුත් දන්නවා ආහාර ගැනීමට සකස් වුණු කටක් ඇතිව, විශාල කටක් ඇතිව, විශාල බඩක් ඇතිව ඉන්න සතෙක්. බිම ගෑවෙන බඩක් ඇතිව. ඉතින් ගෙදරවල් වල, ඒ ගෙදරවල්වල පිටිපස්සෙ තියෙන නොයෙකුත් අපවිත්‍ර දේවල් කවන්නෙ ඌරට තියෙන ආදරෙට නෙවෙයි. කිරිගන්න නෙවෙයි. මේ පින්වතුන් හොඳට දන්නවා. ඉතින් අන්තිමට ඒ තරවෙන ප්‍රමාණයටම, තරමටම නමයි මරණයත් ඉක්මන් වෙන්නෙ. ඒක හොඳ උපමාවක්. මේ රජුට මතක තියා ගන්න. අන්න එතකොට ඒ විදියට ප්‍රමාණට වඩා ආහාර ගැනීමේ ප්‍රතිඵලය මෙතන අපට ධර්මානුකූලව හිතනව නම් අර නිදිමත අලස බව අකර්මණ්‍ය බව ආදිය නිසා ධර්මයට නැඹුරු වීම අඩුවෙනවා. ඒක නිසා තව තවත් සංසාරය දිග් ගැස්සෙනවා. ඒ කියන්නෙ මාරයාට ගොදුරු වෙනවා නැවත නැවත මරණයට පත් වෙනවා. අර විදියට අධික ආහාර සේවනය කිරීමෙන්. ඉතින් ඔය විදියට ඒ උපමාව වගේම ඊළඟට බුදුපියාණන් වහන්සේ රජතුමාට දුන්න උපාය මාර්ගය, අර ආහාර අඩු කිරීමේ උපාය මාර්ගය, පුදුම විදියේ ප්‍රායෝගික වටිනාකමක් ඇති දෙයක්. මොකද්ද පමණ දැන ආහාර ගැනීම කියන ඒ ප්‍රතිපත්තිය. ඒ පමණ කාගේද? අනුභව කරන කෙනාගේ. එතකොට අනුභවකරන කෙනාමයි දන්නෙ තමන්ට පමණ. ඒක මැනල කියන්න බෑ වෙන කෙනෙකුට. අන්න එතකොට ඒකට ගැලපෙන ආකාරයට එතන රජ්ජුරුවන්ට අර ප්‍රත්‍යවේක්ෂාවක් වගේ ගාථාවක් ඊළඟට වදාළේ. ඒකේ අදහසත් අපි කලින්ම කියලා තියෙනවා. අඩුවෙන් ආහාර ගැනීමේ ආනිසංස පක්ෂය අර සුදස්සන මාණවකයා ඒ ගාථාව කියන කොට රජතුමාට මතක් වෙනවා. වේදනාවල් අඩු වෙනවා ආහාර අඩුවෙන් ගන්න කොට කියල. අන්තිම බත් පිඬ හරියට යන කොට ඔන්න ඒක අත්හරිනවා. ඒ විදියට අත හැරීමෙන් ගිහිල්ලා තමයි ක්‍රම ක්‍රමයෙන් තමන්ට යැපෙන ප්‍රමාණය හරියට තේරුම් ගත්තෙ. අර ද්‍රෝණයක් කියන විශාල ආහාර ප්‍රමාණයක් අනුභව කළ රජතුමාට ඊළඟට නැළියකින් සෑහීමකට පත් වෙන්න පුළුවන් උනා. ඉතින් එතනත් ඒ බුදුපියාණන් වහන්සේගෙ පුදුම පුරිසදම්ම සාරථි ගුණය ඒ තුළින් අපට පේනවා. කෙනෙක් හික්මවා ගන්න ගැලපෙන ආකාරයට උපාය මාර්ගයක් එතන දැක්වුවා. ඊළඟට අපි පොදුවේ කල්පනා කරලා බලනකොට මෙන්න මේ දුර්වලතාව ආහාරය පිළිබඳව - ගිහි පින්වතුන්ටත් මේක මේ ආහාර වැඩියෙන් ගැනීමේ අභියෝගය ඉදිරිපත් වෙනවා. ඔය හෝජන සංග්‍රහ ආදියේදී, ඒවා බොහෝ විට ඔය ආටෝප සාටෝප විසිතුරු තත්ත්වය ප්‍රකාශ කිරීම් වශයෙන් ආහාර මේසයෙන් තමන්ගේ වත්කම පෙන්නුම් කරන, ඒ විදියේ දේවල් වලට නැඹුරුවන යුගයක ආහාරයත් පරිස්සම් විය යුතු එකක් බව අපට පෙන්නුම් කරනවා. ගිහි පින්වතුන්ට වගේම සංඝයා වහන්සේලාටත් ඔය සාංඝික දාන ආදියේදී පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා ඔය කියාපු කාරණයෙන්. මොකද, පමණට ආහාර නොගත්තොත් වෙන්නෙ නොයෙකුත් විදියේ රෝග පීඩා ඇතිවෙනවා පමණක් නෙවෙයි ශරීරය අකර්මණ්‍ය වෙනවා. නිදිමත අලස ගතිය ඇතිවෙනවා. ඒ නිසා ආදීනව රාශියක් ඇතිවෙනවා. ඉක්මණින් දිරනවා. සණිකං ජීරති ආයු පාලයං” හෙමින් දිරීමට පත්වෙනවා ඒ ආහාර අඩුකරාම කියල කියන්නෙ මොකද, නොපැසුණු ආහාර නිසයි බොහෝ විට ජරාව ඉක්මන් වෙන්නෙ. මහලු වයස ඉක්මන් වෙන්නෙ. ලෙඩ රෝග බහුල වෙන්නෙ. ඉතින් මෙන්න මේ කාරණයත් අපට සිහිපත් කරගන්න වටිනවා. මේක අන්ත වශයෙන්ම වෛද්‍ය විද්‍යාවටත් අනුකූලයි. වෛද්‍ය ශාස්ත්‍රයේ තිබෙනවා ආහාරය පිළිබඳ වැදගත් ප්‍රතිපත්ති දෙකක්. ‘හිතභුක්, මිතභුක්’ කියලා. හිතභුක් කියන්නෙ පින්වතුනි, පථ්‍ය ආහාර ගැනීම. ගුණ ආහාර, තමන්ගේ සෞඛ්‍යයට හිතකර ආහාර ගැනීම හිතභුක් ප්‍රතිපත්තිය. ඊළඟට මිතභුක් කියන්නෙ ඒ ආහාරයේ පමණ දැන ගැනීම. ඒක දැන් ශාසනික වචනවලින් කියනවා නම් මේ හිතභුක් ප්‍රතිපත්තියම තමයි සප්පාය අසප්පාය කියන වචන වලින් දක්වන්නෙ. “සප්පායසේවී” කියන්නෙ අන්න අර පථ්‍ය ආහාර ගැනීම. ගුණ ආහාර ගැනීම. ඒ ප්‍රතිපත්තියයි. අගුණ දේ අතහැරලා තමන්ට සප්පාය දේ තමන් දැනගෙන, අසප්පාය දේ ඉවත් කරල සප්පාය දේ ගන්නවා. එතකොට අර මිතභුක් කියන එකට ගැලපෙනවා ‘භෝජනෙ මත්තඤ්ඤුතා’ කියල සංඝයා වහන්සේලාට - විශේෂයෙන්ම යෝගාවචරයින්ට - සංඝයා වහන්සේලාට පමණක් නෙවෙයි යෝගාවචර පින්වතුන්ට බුදුපියාණන් වහන්සේ දක්වලා තිබෙනවා ප්‍රමාණ දැන ආහාර ගන්නෙයි කියලා. ඒක තුළින් තමයි තමන්ට බණ භාවනා සාර්ථකව කරගන්ට පුළුවන් වෙන්නෙ. අර කියාපු නිදිමත අලස ගති ඉවත් කරලා ශරීරය සිත කර්මණ්‍ය කරල, අවදිමත් කරල, තබාගන්ට උපකාර වෙනවා, රස තෘෂ්ණාවට යට නොවීම. සංඝයා වහන්සේලාට නම් ඒ ආහාර පිළිබඳ ප්‍රතිපත්තිය වඩාත් දැඩියි. ඒක නමයි ඔය ප්‍රත්‍යවේක්ෂා කරනවා කියල කියන්නෙ. පැරණි වචනයක් ඔය පස්විකා වළඳනවා කියල සංඝයා වහන්සේලා පිළිබඳව දැක්විලා තියෙන්නෙ. දැන් මේ කාලේ කියැවෙන අර්ථය නෙවෙයි. පස්විකා වළඳනව කියන්නෙ ප්‍රත්‍යවේක්ෂා කරලා නුවණින් සළකල ා බලලා වළඳනවාට. ආහාර අනුභව කරන්න බුදුපියාණන් වහන්සේ විශේෂ පාඨයක් පවා සංඝයා වහන්සේලාටත් - දැන් අර කොසොල් රජ්ජුරුවන්ට අර විදියේ විශේෂ ගාථාවක් දුන්නා වගේ - සංඝයා වහන්සේලාටත් විශේෂ පාඨයක් දක්වලා තිබෙනවා. මතක් කරලා දෙනවා, ගිහියන් වගේ ශරීර ශක්තියට, ශරීරය ශෝභමාන කරගන්න නෙවෙයි මේ ආහාර ටික ගන්නෙ. හුදෙක් - හුදෙක් කියන වචනය විශේෂයෙන්ම යොදනවා - මේ, කය, ශරීරය පවත්වා ගැනීම සඳහා, මේ උතුම් බ්‍රහ්මචාරී ජීවිතය ගෙනයාම සඳහා. ඊළඟට බඩගිනි වේදනාව යටපත් කරල, වැඩිපුර ආහාර ගැනීමෙන් ඇතිවන වේදනාව ඉවත් කරලා, යහතින් මේ බණ භාවනා කර ගැනීම සඳහායි කියල ඒ විදියට තව නොයෙකුත් ආකාරයෙන් ඒකත් භාවනාවකට හරවගෙන ආහාර අනුභව කරන්න කියල බුදුපියාණන් වහන්සේ අනුදැන වදාරලා තිබෙනවා. එතකොට ආහාර පිළිබඳ මේ ප්‍රතිපත්තිය තුළින් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා හැම කෙනෙකුටම අර කියාපු නිරෝගී බව, ආරෝග්‍ය සම්පත්තිය, ලභා කරගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ආරෝග්‍යය උතුම් ලාභය කියල දැක්වුවේ මොකද, අනික් කොයිතරම් ලාභ තිබුණත්, කොයිතරම් තමන්ට ධන ධාන්‍යාදී ලාභ තිබුණත්, තමන් රෝගියෙක් නම් ඒවා විඳින්න බෑ. ඇතැම් ඔය මහා කෝටිපතියන් ගැන සඳහන් වෙනවා, මේ ලෝකයේ හිටපු ඇතැම් කෝටිපතියන් ගැන. සමහර විට ඔවුන්ට එක පාන් පෙත්තෙන් යැපෙන විදියට ආහාර වේල ගන්න බැරී තත්ත්වයක් තිබුණා. කර්මරෝග නිසා සමහර විට. දැන් මේ කාලයෙත් ඔය නාගරික ජීවිත ගතකරන පින්වතුන් ඇතැම් විට අර කියාපු අතීතකර්ම නෙවෙයි මේ කාලේ කරගත්තු කර්ම, හෝජන සංග්‍රහවල නුසුදුසු ආකාරයට කොසොල් රජතුමා මුල් කාලයේ ආහාර ගත්තා වගේ අරගෙන අන්තිම කාලේ පාන් පෙත්තකින්, සමහර විට පරළු පාන් පෙත්තකින්, යැපෙන්න සිද්ධ වෙනවා. ඒ තත්ත්වයකට පත්වෙනවා. අන්න ඒක තමන්ගේ රෝගී බවට හේතු වෙනවා. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා වැඩිපුර ආහාර ගැනීමෙන් නොයෙකුත් ලෙඩරෝග ඇති වෙනවා කියල. ඉතින් මේ පණිවිඩය ඉතාමත් වටින පණිවිඩයක් ලෝකයට. සාමාන්‍ය එදිනෙදා ජීවිතය ගතකරන එදිනෙදා කටයුතු කරන පින්වතුන්ට පමණක් නෙවෙයි බණ භාවනා කරන, නිවන් සඳහා කටයුතු කරන, හැම කෙනෙකුටම ඒ ප්‍රතිපත්තිය කැඩුවොත් වෙන්නෙ අර ඌරට වුණු දේ වගේ දෙයක්මයි. බාහිරව බලනකොට තරබාරු උනාට ඉක්මණින්ම මරණයට පත්වෙනවා පමණක් නෙවෙයි සංසාරයෙන් දිගට මරණ රාශියක් ලබාගන්න හේතු වෙනවා, අර ආහාරයට රසයට ගිජුවීම නිසා. ඉතින් ඒක නිසා බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට නම් මහ පුදුම විදියේ උපමාවලින් දක්වලා තියෙන්නෙ, මේ ආහාරය පිළිබඳ ප්‍රතිපත්තිය. හරියට රෝගයකට බෙහෙතක් හැටියට ආහාර ගන්න කියලා. මොකක්ද රෝගය, මේ කුසගින්න නමැති කාටත් තියෙන ඉබේ කෙඳිරි ගෑවෙන ලෙඩෙට මේක බෙහෙතක් හැටියට සළකල ා ගන්නය කියලා. විනෝදවෙන විදියට නෙවෙයි, සමහර විට සංවේගය ඇතිවන විදියට ආහාරය පිළිබඳව බුදුපියාණන් වහන්සේ යෝගාවචරයින්ට ප්‍රකාශ කරලා තියෙනවා ඒකම නිවනට උපකාරවන ආකාරයට. ඊළඟට තවත් උපමාවක් දෙනවා ගමන් කරන රථයක කඩ ඇණය ක්‍රියාත්මක වෙන්න තෙල් යොදෙනව. අන්න ඒ වගේ කියල හිතාගන්න. මේ ශරීරය හතර ඉරියව්වේ පැවැත්වීම තමයි මේ ශරීරය ගමන් කරවීම. මේකට උපකාරවන තෙල්වගේ තමයි, අර ලිහිසිතෙල වගේ තමයි, මේ ආහාරය. අන්න එහෙම හිතන්න කියලත් කියනවා. තවත් ඊටත් වඩා සංවේගජනක උපමා දක්වලා තිබෙනවා. මේ පින්වතුන්ට බයත් හිතෙන්න පුළුවන්, ඒවා අහනකොට, මේ සංසාර කාන්තාරයෙන් එතෙරවෙන්න තමන්ට නොගෙන බැරි නිසා ගන්න ආහාරය අමුතු විදියෙ ආහාරයක් එතන බුදුපියාණන් වහන්සේ උපමාකථාවකින් දක්වනවා. කාන්තාරයකින් එහාට යන්න තමන්ගෙ එකම දරුවාත් එක්ක පිටත්වුණු මව්පියන්ට මඟදි ආහාර නිමවුණු නිසා වෙන කරන්න දෙයක් නෑ. අර දරුවා මරාගෙන කෑවාය, කොයි ආකාරයෙන් මැරුණා හෝ ඒක පිළිබඳව ඇතැම් කෙනෙක් නොයෙකුත් විදියට දක්වනවා. අපි හිතාගනිමු ඒ මැරුව හෝ මැරෙන්න සැලැස්සුව හෝ ඒ වෙනදේකට නෙවෙයි තමන්ගෙ ජීවිතය පවත්වා ගැනීම සඳහා. එතකොට ඒ ආහාරය ගන්නෙ, ඒ දරුවගේ මස් ආහාරයට ගන්නෙ, විනෝදවෙමින් නෙවෙයි. පපුවටත් අත් ගස ගසා ‘අනෙ අපේ එකම දරුවා’ කිය කියා. අර කාන්තාරයෙන් එතෙර වීම සඳහා. ඒ වගේ සංවේග ජනක ආකාරයට ආහාරය දිහා බලන්න ඒ වගේ දෘෂ්ටි කෝණයක් පවා බුදුපියාණන් වහන්සේ ඉදිරිපත් කළා ආහාරය පිළිබඳව. ඒක නිවනටම උපකාරවන ආකාරයට. ඔය විදියෙ නොයෙකුත් උපමාවලින් බුදුපියාණන් වහන්සේ දැක්වූවෙ මේ ආහාරය ඇත්ත වශයෙන්ම ජීවිතය පැවැත්ම සඳහා අවශ්‍යයි. අර නිගණ්ඨයයින් වගේ නොකා නොබී ඉන්න බෑ. ඒක මධ්‍යම ප්‍රතිපදාවකට අනුව තමන්ගේ බණ භාවනා කටයුතු සඳහා, මේ ජීවිතය පවත්වා ගැනීම සඳහා, නිවන් දැකීම සඳහා, උපකාර කරගතයුතු දෙයක්. ඉතින් ඒ පැත්තෙන් බැලුවත් මේ ආහාරය පිළිබඳව අර කියාපු මිතභුක් ප්‍රතිපත්තිය, එහෙම නැත්නම් තමන්ගේ පමණ දැනගෙන ආහාර වැළඳීම, වටිනා ප්‍රතිපත්තියක්. ඊළඟට අපි හිතල බලනව නම් අර ‘සන්තුට්ඨි පරමං ධනං’ කියාපු එක - ලද දෙයින් සතුටු වීම. ඒකත් සමාජයේ ඉතාමත්ම වටිනා ගුණයක්. ඒකට හේතුව මොකද, කොයිතරම් කෝටිපතියෙක් උනත් මසුරෙක් නම්, ඒ වගේම ඊර්ෂ්‍යාකාරයෙක් නම් සෑහීමකට පත්වෙන්නෙ නැත්නම් ලදදෙයින්, එයා හැම තිස්සෙම හිතෙන් දුප්පත්. හිතෙන් පොහොසත් නෙවෙයි හිතෙන් දුප්පත්. ඒකයි අර ලද දෙයින් සතුටුවීම කියන එක ලොකුම ධනය හැටියට සළකල තියෙන්නෙ, ‘සන්තුට්ඨි පරමං ධනං’ - ලද දෙයින් සතුටුවීමේ ගුණය නැති කෙනා කොයිතරම් ධනයක් තිබුණත් එයා නිර්ධනයි. දුප්පත් දිළින්දා. ඉතින් ඒක කෙටින්ම කියතොත් මේ කොසොල් රජතුමා පිළිබඳ කථාවටත් යම්කිසි සම්බන්ධයක් තියෙනවා. ඒකට හේතුව මොකද? මෙතෙන්දී අපට කියන්න වෙනවා, මේ කොසොල් රජතුමා පිළිබඳව අර කෙටියෙන් ඒ රජතුමා ප්‍රකාශකළ කාරණයට අදාළ අර අජාසත් රජු හා තිබුණු සටන පිළිබඳ පුවෘත්තියක්. ඒ අර කාසි ගම පිළිබඳ ප්‍රශ්නය මොකක්ද? මේ සූත්‍ර දේශනාවල ඒ ඒ තැන්වල සඳහන්වන කරුණු එකතු කරලයි මේ කාරණා පෙන්නුම් කරන්නෙ. පළමුවෙන්ම කියන්න වෙන්නෙ දැන් ඔය බිම්බිසාර රජතුමාට පාවා දුන්නා, මහා කෝසල රජතුමා - ඒ කියන්නෙ පසේනදී කොසොල් රජතුමාගේ පියා - තමන්ගේ දියණිය. ඒ කියන්නෙ පසේනදී කොසොල් රජතුමාගේ සොහොයුරිය පාවා දුන්නා. ඒ තැනැත්ති හැඳින්වූයේ කෝසල දේවී කියලා. ඒ කෝසල දේවියගෙ පුතා තමයි මේ අජාසත්. එතකොට අජාසත් රජු කුමාර කාලයේදීම පියා මරලා රජකම ගත්තා. පියා මැරුවට පස්සෙ පසේනදී කොසොල් රජ්ජුරුවෝ ඒක ගැන ඇති වෙච්ච හිත් පීඩාව නිසා මේ පිතෘ ඝාතකයාට අපේ කුල සන්තක ඉඩමක් දෙන්න වටින්නෙ නෑ කියලා අර කාසි කියන ගම - ඇත්ත වශයෙන්ම ඒ කාසි කියන ගමත් අර මහා කෝසල රජ්ජුරුවො දායාදයක් හැටියටයි දීලා තිබුණෙ, අර කියපු හැටියට සබන් වියදමට - නමුත් පසේනදී කොසොල් රජ්ජුරුවෝ ඒක අයිති කරගත්තා - නැවතත්. අන්න ඒ කාරණය උඩයි අජාසත් රජු පසේනදී කොසොල් රජ්ජුරුවෝ එක්ක සටන් වැදුනෙ. ඉතින් ඒ සටනෙදි පළමුවෙනිවර කොසොල් රජ්ජුරුවෝ පරාද වුණා. දෙවෙනිවර කොසොල් රජ්ජුරුවො අජාසත් රජු ජීවග්‍රාහයෙන් අල්ල ගෙන ප්‍රාණපිටින්ම අල්ලගෙන, ඒ සිවුරඟ සෙනඟ තමන් සන්තක කරගන්නා. අත් අඩංගුවට ගත්තා. ඒ කාරණය දැනගන්න ලැබුණහම බුදුපියාණන් වහන්සේ එක්තරා ගාථා පෙළක් වදාළා. ඒ ගාථා පෙළෙන් කොසොල් රජතුමා පිළිබඳ ප්‍රශංසාවක් නෙවෙයි එතනින් කියැවෙන්නෙ. මේ කෙල්ලකෑමේ ආදීනව කොයිතරම්ද කියන්නත් ප්‍රකාශ කරනවා. ඒ ගාථාවෙ සාමාන්‍ය අදහස - ඇතැම් කෙනෙක් තමන්ට හිතුමතේට එක එක්කෙනා කෙල්ල කාගන්නවාය. ඒ අය ඉදිරිපත්වෙලා තමන්ව කොල්ලකා ගත්තු දවසට තමයිය තේරෙන්නෙ. ඊළඟට තවත් ඒ වගේම වටිනා උපදේශාත්මක කාරණා කීපයක් ඒ ගාථා පෙළේ සඳහන් වෙනවා. මරන්නා මරන්නකු ලබයි. දිනන්නා දිනන්නකු ලබයි. කිපෙන්නා කිපෙන්නකු ලබයි. බනින්නා බනින්නකු ලබයි. කොල්ලකන්නා කොල්ලකන්නකු ලබයි. ඒ කියන්නෙ කෙනෙක් මරනවා නම් තමන්ටත් මරණය සිද්ධ වෙනවා. ඒ තැනැත්තා අතින්. එහෙම නැත්නම් වෙන කෙනෙක් අතින්. අනික් කියන කාරණා ගැනත් මේ පින්වතුන්ට හිතාගන්න පුළුවන්. ඒවයි විපාකයි. අර කොල්ලකන්නා ඒ කර්මය ආපහු කරකැවිලා වට පස්සේ තමන්ම තමන්ගේම වස්තුව කොල්ලකනු ලැබීමට භාජනය වෙනවා. එතන කියවිල නැතත් කොසොල් රජ්ජුරුවන්ට කිව්ව කියල කොසොල් රජ්ජුරුවන්ට ආරංචි වෙන්න ඇති මේ බුදුපියාණන් වහන්සේ වදාළ ගාථාව. මේ උපදේශාත්මක ගාථාව. ඒ ආරංචි වෙලා වෙන්න ඇති කොසොල් රජතුමා අර කලින් ප්‍රතිපත්තිය ඉවත්කරලා අර ඉස්සෙල්ල අජාසත් රජු අල්ලගත්තු අවස්ථාවේ තමන්ගේ බෑණයි කියල නෑකම විතරක් හිතලා යන්න ඇරියා. නමුත් අර සිවුරඟ සෙනඟ තමන් යටතට ගත්තා. මේ ගමනෙ කළේ මොකක්ද? ඒ ඔක්කොමත් බාරදීලා තමන්ගේ දියණියන් විවාහ කරලා දීලා දෙවෙනි වරටත් බෑණා කරලා අර ගමත් අර විදියට නානසුණු හැටියට පරිත්‍යාග කළා. එතකොට ඒ කොසොල් රජතුමා එතන බොහොම පරිත්‍යාගශීලී බොහොම වටිනා ප්‍රතිපත්තියක් අනුගමනය කළේ. කොල්ලකනව වෙනුවට. අන්න ඒක තුළ තියෙන්නෙ සන්තුට්ඨි ‘පරමං ධනං’ ලද දෙයින් සතුටුවීම. අර එක එක්කෙනාගේ දේ අල්ලගෙන ධනය විශාල කර ගැනීම නෙවෙයි. එතකොට කොසොල් රජතුමාත් බුදුපියාණන් වහන්සේගෙ ඇසුරින් යම්කිසි හැඩගැස්මක් ලබාගත්තු බව, ඒ වගේම මේ ‘සන්තුට්ඨි පරමං ධනං’ කියන එක රජතුමාගේ ජීවිතයටත් සම්බන්ධ බව අපට ඒ අනුව හිතා ගන්න පුළුවන්. ඊළඟට අපි තුන්වෙනි පදේට එමු. ‘විස්සාස පරමා ඤාති’ - නෑයන්ගෙන් ලොකුම නෑයා විශ්වාසයයි. ඒක එක පාරටම කල්පනා කරනකොට තේරෙන්නෙ නැතිවෙන්න පුළුවන්. මේ කියන්නෙ මොකක්ද? දැන් තමන්ගෙ මව්පියන් වුණත් - තමන්ගෙම මව්පියන් - නෑයන් ගැන හිතනකොට ඉස්සෙල්ලාම මව්පියන්නෙ සිහිපත් වෙන්නෙ. නමුත් අන්‍යෝන්‍ය විශ්වාසය නැත්නම්, අවිශ්වාස නම්, එතන නෑකමක් නෑ. නමුත් කිසිම ලේ නෑකමක්වත්, වෙන කිසිම නෑකමක්වත් නැතත් යම් කෙනෙක් පිළිබඳව විශ්වාසය තියෙනවනම්, අන්‍යෝන්‍ය විශ්වාසය තියෙනවනම්, ඒ තැනැත්තා තමයි නියම නෑයා. අන්න ඒකයි එතන බුදුපියාණන් වහන්සේ මතුකරලා දෙන්නෙ. ඒකටත් ගැලපෙනව මෙතන. දැන් අර අජාසත් රජු කලින් ඉඳලම නෑයා, බෑණා. නමුත් බෑණා උනාට මොකද අර විදියට අන්‍යෝන්‍ය විශ්වාසයක් නැති නිසයි සටන් වැදුනෙ. ඒ වගේම ඒ අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් නැතිවෙනවා අර සිවුරඟ සේනාව තමන්ගේ අත්අඩංගුවේ තියාගෙන හිටිය නම්. ඒ වෙනුවට ඒ කාරණය තේරුම් අරගෙන තමයි කොසොල් රජතුමා ඒ ඔක්කොමත් පාවා දීලා, තමන්ගේ දියණියන් පාවා දීලා, අන්න අර නියම ආකාරයෙන්ම විශ්වාසය ඇතිකරගත්තෙ. ඒ විශ්වාසයයි නියම නෑකම. ඒ පැත්තට ගත්තත් එහෙමයි. ඊළඟට තවත් කාරණයක්, තව අමතර කාරණයක් කොසොල් රජ්ජුරුවෝ ප්‍රකාශ කළා එතන. සංඝයා වහන්සේලාට තමා වඩාත් විශ්වාස වෙන්න හිතාගෙන - සංඝයා වහන්සේලා මට වැඩියත් සළකාවි කියල හිතාගෙන - මොකද කළේ. ශාක්‍ය කුලයෙන් වාසභඛත්තියා කියන කුමාරියක් සරණ පාවා ගත්තා. ඉතින් ඇත්ත වශයෙන් බලනකොට ඒවා බුදු පියාණන් වහන්සේ අනුමත කළා නොවෙයි, ඒ විවාහ කරගන්නා හෝ නොකර ගත්තා හෝ, ඇත්ත වශයෙන් අන්‍යෝන්‍ය විශ්වාසයමයි නියම නෑයා. ලොකුම නෑයා. ඉතින් ඒකත් ඒ කොසොල් රජ්ජුරුවන්ගේ ජීවිතට වගේම මේ පින්වතුන් හැම කෙනාගේම ජීවිතට ඒක සම්බන්ධ කරගත හැකි දෙයක් බව මෙයින් අපට හිතාගන්න පුළුවන්. දැන් ඉතින් මේ අනුව අපට එදිනෙදා ජීවිතයට අදාළ - අපි මේ එදිනෙදා ජීවිතය කියල කියනකොට බොහෝ දෙනා ඔය ලෞකික පැත්තයි හිතන්නෙ - ඒකට වුනත් උපකාරවත් වන කාරණා තුනක් තමයි ඔතන කියවුනෙ. නිරෝගී බව පිළිබඳ වටිනා ප්‍රතිපත්තියක්. අපි මේ ගන්නා ආහාරය, ජීවත් වීම සඳහා ගන්න ආහාරය අපි මරණයට උපකාර කරගන්න නරකයි. මරණය ළං කර ගන්න උපකාර කරගන්න නරකයි. නමුත් බොහෝ විට සමාජයේ දැන් කෙනෙක් මනින්නෙ ගන්න ආහාරයෙන්. ඒ විදියේ සංකල්පයක් ඇතිවෙලා තිබෙනවා. එහෙම නැත්නම් ආහාර ගන්න තැන තියෙන තරු ගණනින්. ඔය විදියේ පුහු වටිනාකම් නිසා මනුෂ්‍යයින් අකාලයේ මිය යනවා. අකාලයේ මේ ශරීරයෙ ලෙඩ හදාගන්නවා. තමන්ට සප්පාය අසප්පාය, හිතකර අහිතකර ප්‍රමාණය, ඒවා ගැන කිසි සැලකිල්ලක් නැතිව ආහාරපාන අරගෙන ඒවා තමන්ට බෙහෙතක් වෙනුවට විසක් කර ගන්නවා. විසක් - විසක් කරගන්නවා. එබඳු යුගයක්. එතකොට මේ බුදුපියාණන් වහන්සේ අර ‘ආරෝග්‍යපරමාලාභා’ කියන එක තුළින් ඉදිරිපත් කළ කාරණය කොසොල් රජ්ජුරුවන්ට පමණක් නෙවෙයි අප අපටත් උපකාර වෙනවා. ඊළඟට ලද දෙයින් සතුටුවීමේ ප්‍රතිපත්තිය උනත් - අපි මේ සැකෙවින් ගන්තෙත් මේ කාරණා කීපය - ඒකත් එදිනෙදා ජීවිතයට, දැන් වටපිට බලන කොට පේනවා තම තමන්ගේ අසල්වාසීන් පාවිච්චි කරන, පරිහරණය කරන උපකරණ දිහා බලලා තමන්ගේ වත්පොහොසත්කම මනින සිරිතක් මේ සමාජයේ තිබෙන්නෙ. අර චාම් ජීවිතයට - අපි අර නිතර මතක් කරන චාම් දිවිපැවතුම් උසස් සිතුම් පැතුම් කියන ඒ සංකල්පනාව අනුව නොවෙයි. අසල්වාසියා පාවිච්චිකරන නවීනතම සුඛෝපභෝගී භාණ්ඩය නැතිනම් මම දුප්පතා කියල ඒ විදියට හිතාගෙන ඒක ලබා ගන්න ණයතුරුස් වීම් ආදී අන්න ඒ විදියේ විපත්තිකර තත්ත්වයකට පත්වෙන සමාජයක් අද තිබෙන්නෙ. ඉතින් ඒ හැම කෙනෙක්ම එදිනෙදා ගතකරන්නෙ - කොයිතරම් තමන්ට මිලමුදල් වශයෙන් බලන කොට කෝටි ගණන් තිබුණත් - හිතෙන් දුප්පත්ව. ලද දෙයින් සතුටු වීම නැති නිසා. නමුත් සමහර විට ඒ නරම් වත්කමක් නැති, ඇතැම් විට දිළින්දෙක් හැටියට සමාජයේ සලකන කෙනෙක් වෙන්න පුළුවන්. මේ කියාපු ලද දෙයින් සතුටු වීමේ ගුණය තියෙනවා නම් - ලද දෙයින් සතුටු වීම කියල කියන්නෙ තවත් උපයන්නෙ නැතිව ඒ දෙයින් සෑහීමකට පත්වීම නෙවෙයි. නමුත් තමා ළඟ දැනට තියෙන ටිකෙන් ඒකට ගැලපෙන ආකාරයට ජීවත් වෙනවා. අද තියෙන වත්කමෙන් තව අවුරුදු ගාණකින් ඉලක්ක කරල තියෙන ඒ සැලැස්මට අනුව ජීවත්වෙන්න ගියොත් මොකද වෙන්නෙ? ණය තුරුස් වෙනවා. අද තියෙන වත්කමින් ඒ විදියට ජීවත් වෙනවා. ඒක ටිකක් වැඩිවෙන කොට ඒකට ගැලපෙන හැටියට. නමුත් ඒකත් ඉතිරි පහදු කරගෙන ජීවත් වෙන්ට පුරුදු වෙන්න ඕන. ඒවා ගැන අපි නොකිව්වත් මේ පින්වතුන් කල්පනා කරලා බලනව. මේ පින්වතුන්ට කොතෙකුත් ඒවට අදාළ බණ අහන්නත් ලැබෙනව ඇති. නමුත් මේක ආශ්‍රයෙන් අපට කියන්න තියෙන්නෙ ඔන්න ඔය වටිනාකම් පිළිබඳව. බොහෝ විට මේව අවුල්වෙලා තියෙන්නෙ ජීවන වටිනාකම් පිළිබඳ වැරදි අවබෝධ නිසා. බුදුපියාණන් වහන්සේ මතුකරලා දෙන මේ “සන්තුට්ඨි පරමං ධනං” කියන එක අපි එදිනෙදා ගෙදරදොරවල් වලදී මතක් කරගත්තොත් අන්න අර වගේ හූල්ලමින් ඉන්නෙ නැතිව තමන්ට තියෙන දෙයින් යැපෙමින් සතුටින් ජීවත්වෙන්න පුළුවන් දූ දරුවන් සමග. ඔය තියෙන ටිකෙන් අපි යැපෙමු. ඒ ඇති අපට කියලා. ඉතින් අන්න ඒ විදියේ ප්‍රතිපත්තියකට නැඹුරු වෙන්න පුළුවන්. ඒ වගේම ඥාතීන් ගැන - ඔය නෑ හිතවත්කම් ඇතිකර ගෙන ලොකු ලොකු අය එක්ක සබඳකම් ඇතිකර ගැනීම ගැන නොයෙකුත් විදියට බොහෝ දෙනා වෙහෙස මහන්සි වෙනවා. සමාජයේ ලොකු තත්ත්ව ලබා ගන්න. ඒ කොයි විදියට නෑකම් ඇතිකර ගත්තත්, ලේ නෑකම් ඇතිකර ගත්තත්, ඒ කොයි දේ ඇති කර ගත්තත්, අර කියාපු විශ්වාසය නැත්නම්, අන්‍යෝන්‍ය විශ්වාසය නැත්නම්, එකිනෙකා දිහා - හරියට මූණදිහා - බලන්න බැරි විදියට නොහොඳ නෝක්කඩු තියෙනවා නම්, අවිශ්වාසය තියෙනවා නම්, සැකය තියෙනවා නම්, ඊර්ෂ්‍යාව තිබෙනව නම්, එතන නෑකමක් නෑ. අන්න ඒක නිසා එතකොට නියම නෑකම අර කියාපු විශ්වාසයයි. හොඳට විශ්වාස යාළුවෙක් ඉන්නව නම්, ඒ තැනැත්තා තමයි හොඳම නෑයා. ආයි වෙන නෑකම් ඕන නෑ. ඒකත් ඔය සමාජයට ඉතාම වටිනා ප්‍රතිපත්තියක්. ඊළඟට අපි එන්නෙ ඔන්න ධර්මයේ ගැඹුරුම කොටසට. අපි ගැඹුරුම කිව්වට කවුරුත් බය වෙන්න එපා. අපි මේ හැම තිස්සෙම උත්සාහ කරන්නෙ අර බුදු පියාණන් වහන්සේ පමණට අපට බැරි උනත් යම් යම් සරල ක්‍රම වලින් ඒ ගැඹුරට යන ආකාරයට මේ ධර්මය ඉදිරිපත් කිරීමටයි. මොකද මේ “නිබ්බාන පරමං සුඛං” කිව්වෙ නිවන ලොකුම සැපත කියල කිව්වෙ මොකද? අපි ටිකක් ඒ ගැන හිතමු. දැන් සැප කියන එක අපි කවුරුත් සාමාන්‍යයෙන් සම්බන්ධ කරන්නේ සැප වේදනාවත් එක්කයි. නමුත් බුදුපියාණන් වහන්සේ මහ පුදුම දෙයක් ලෝකයට වදාළා. “යං කිඤ්චි වේදයිතං තං දුක්ඛස්මිං” ඒ කියන්නෙ යම්තාක් වේදයිතයන් තියෙනවා නම්, වේදනා වශයෙන් ගත හැකි යම් දෙයක් තියෙනවා නම්, ඒ හැම එකක්ම දුකයි කියල බුදුපියාණන් වහන්සේට වැටහුනා. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා. දැන් වේදනා කියනකොට වේදනා තුනක් තිබෙනවා. මේ පින්වතුන් සමහරවිට අහලත් ඇති - සැප වේදනා, දුක්වේදනා ඊළඟට මධ්‍යස්ථ වේදනා. ඒක ධර්මයේ හඳුන්වන්නෙ මෙහෙමයි. “සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ” ඒවට අපි සිංහල වචන ගත්තොත් අපි ගනිමු - ඉස්සෙල්ල ගනිමු දුක් වේදනාව. දුක් වේදනාව, සැප වේදනාව, මධ්‍යස්ථ වේදනාව හඳුන්වන්න පුළුවන් නොදුක් නොසුව වේදනාව කියලා. නොදුක් නොසුව. ඒකට අර ශාසනික වචනය “අදුක්ඛමසුඛ”. ඒක මධ්‍යස්ථ වේදනාව.   සාමාන්‍ය පුද්ගලයාට මේ මධ්‍යස්ථ වේදනාව පිළිබඳව හැඟීමක් නෑ. කොටින්ම බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ලෝකයේ පෘථග්ජනයාගේ ස්වභාවය මොකක්ද? දුක් වේදනාවෙන් පීඩිත වූ අවස්ථාවේ පෘථග්ජනයා සැප වේදනාව බලාපොරොත්තුවෙන් සැප වේදනාවට නැඹුරු වෙනවය, මොකද පෘථග්ජනයාට දුක්වේදනාවෙන් මිදීමට වෙන මගක් නැත. දුක් වේදනාව ආව හැටියේ පෘථග්ජනයා සැප වේදනාව අල්ල ගන්නවා. මොකද, ඒ තැනැත්තාට මධ්‍යස්ථ වේදනාවක් ගැන එච්චර අවබෝධයක් නැත. නමුත් ඒක අර අතීත ආචාර්යවරු උපමාවකින් දක්වනවා. දැන් යම් පර්වතයක් උඩින් මුවෙක් ගියාම ඒ මුවා පර්වතය ළහට ආපු පාර පේනවා. එතනින් බැහැලා ගිය පාරත් පේනවා. අර පර්වතය උඩ ගිහිච්ච අඩිපාරවල් පේන්නෙ නෑ. ඒ වගේ සාමාන්‍ය කෙනාට අර මධ්‍යස්ථ වේදනාව සාමාන්‍යයෙන් වැටහෙන්නෙ නෑ. ඒක සියුම් දෙයක්, නමුත් ඒ සියුම් වේදනාව දැනෙන්නෙ භාවනාමය මනසටයි. ධ්‍යාන භාවනා වඩන අයටයි. ඉතින් මෙතන තියෙන්නෙ සැප දුක් සහ මැදින් තියෙන නොදුක් නොසුව. දැන් මේ කාරණය ගැන තව ටිකක් අපි හිත යෙදෙනවා නම් මේකට අපි කිට්ටු කරගනිමු පොඩි උපමාවක්. දැන් ඔය ගමේ ගොඩේ ළමයි එහෙම පොල්පිති පදිනවා කියල පොඩි ක්‍රීඩාවක් කරනවා. පොල්පිති බිඩංගයක නැගලා ඒ පැත්තට මේ පැත්තට පැද්දෙනවා. ඒ ක්‍රීඩාවටම තවත් පොඩි ක්‍රීඩා භාණ්ඩයක් සමහර විට හදා ගන්නවා. යම්කිසි ලී කොටයක් වගේ මොකක් හරි අඩයක් උඩ තියනවා ලෑල්ලක්. තියලා දෙන්නෙක් දෙපැත්තෙන් නැගලා ඉඳගෙන ඕකේ ඒ අතට මේ අතට පැද්දෙනවා. ඒක පොඩි ක්‍රීඩාවක්. ‘සීසෝ - සීසෝ - සීසෝ’ කියලා. ඉතින් මේ ඇත්ත වශයෙන්ම සීසෝ කියල කියන්නෙ ඔන්න ඔය ක්‍රීඩා භාණ්ඩයට තියෙන විජාතික නමක්. මේකත් සමහර විට දැන් භාවිතයට ඇවිල්ල ඇති. ඔය සීසෝවක් හදාගන්නවා. ඉතින් ඔය සීසෝව අතර තියෙන්නෙ පැදිල්ලක්. ඉතින් ඇත්ත වශයෙන් පැවැත්මත් ඔන්න ඔය විදියේ දෙයක්. මේ සංසාරික පැවැත්මත් ඔය විදියේ දෙයක්. දුකත් සැපත් අතර පැදීමක් තියෙන්නෙ. අර කියාපු විදියට ඕචිලි පැදීමක් වගේ මේක එක්තරා විදියක පැදීමක්. ඔය දෙක අතරේ තමයි මේ මුළු මහත් සංසාරික පැවැත්ම තියෙන්නෙ. සීසෝ කිය කිය ඉතින් පැද පැද ඉන්නවා. නමුත් බුදුපියාණන් වහන්සේට පෙනුනා මේකේ තියෙන අවදානම් තත්ත්වය, භයානක තත්ත්වය. මේක කවදාවත් කෙළවර වෙන්නෙ නෑ. මේක තුළ දුකටමයි පත්වෙන්නෙ. දුක් වේදනාවෙන් මිදෙන්න හිතලා සැප වේදනාවට යනවා. එතන ගිහිල්ල බලනකොට ඒක නිත්‍ය නෑ. එතන ඒක ඉවර වෙනකොට අයි මේ පැත්ත පහත් වෙනවා. ඔය විදියේ දෙයක් තියෙන්නෙ. ඉතින් ඒකමයි ඔය වේදනා තුන ගැන බුදු පියාණන් වහන්සේ දක්වන්නෙත්. දුක් වේදනාවේ ස්වභාවය, ඒක තියෙන තෙක් දුකයි. වෙනස් වෙනකොට සැපයි. සැප වේදනාවේ ස්වභාවය ඒක තියෙනකොට සැපයි. වෙනස් වෙනකොට දුකයි. නමුත් මධ්‍යස්ථ වේදනාව - මැදින් තියෙන වේදනාවේ ස්වභාවය - ඒක සියුම් දෙයක්. ඒක නොදැනෙන තාක් දුකයි. තේරුම් ගත්තොත් සැපයි. ඒක දක්වන්නෙ “අඤ්ඤාණ දුක්ඛා ඤාණ සුඛා” “අඤ්ඤාණ” කියල කියන්නෙ තේරුම් නොගැනීම. මධ්‍යස්ථ වේදනාව තේරුම් නොගන්නතාක් ඒක දුකක්. නමුත් යම් අවස්ථාවක එතෙන්ට ප්‍රඥාව, නුවණ, තේරුම් ගැනීම, ආවොත් ඒක සැපයකට හරවගන්න පුළුවන්. ඔන්න ඔය ධර්මතාව උඩ මේ සංසාරයෙන් මිදීමේ උත්සාහය දැරූ අර අතීත යෝගීන් බුද්ධකාලයටත් කලින් ඉඳලම පඤ්චකාම සම්පත්තිය කියල කියන සාමාන්‍ය ලෝකේ පෘථග්ජනයා එරිල ඉන්න ඒවයින් ඉවත් වෙලා, ධ්‍යාන භාවනා වඩලා, ක්‍රම ක්‍රමයෙන් අර කියාපු තුන්වැනි තත්ත්වයට, එහෙම නැත්නම් මධ්‍යස්ථ තත්ත්වයට හිත ගෙනාවා. ඉතින් මේක සංස්කාර වශයෙන් බලනවා නම් දැන් ධර්මයේ තිබෙනවා - ඒකත් අපි මතක් කර ගතයුතු දෙයක් - බුදුපියාණන් වහන්සේ නිවන හඳුන්වනවා “සබ්බ සංඛාර සමථ” කියලා. සියලුම සංස්කාරයන්ගේ සංසිඳීම කියලා. අපි කියමු සකස් කිරීම් කියලා. මේ සංස්කාර කියන වචනය බොහොම ගැඹුරු වචනයක්. “සබ්බේ සංඛාරා අනිච්චා” කියල එහෙම දාලා තියෙන්නෙ. සියලුම සංස්කාරයින් අනිත්‍යය කියලා. මේ මුළු මහත් සංසාර පැවැත්ම තුළම තියෙන්නෙ සංස්කාර රැස්කිරීමක්, නමුත් මේ සංස්කාරවල අනිත්‍ය ස්වභාවය නිසා මේ මුළු මහත් සංසාරයම දුකක් කියල බුදුපියාණන් වහන්සේ වදාළා. ඉතින් ඒක තමයි “සංඛාර පරමා දුක්ඛා” කියල බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නෙ. මේ අපි ඕළාරික ගොරහැඩි හැටියට හිතන දුක් හැම එකක්ම ඉවත් කරල ඒවායින් මිදිලා ඉවර වුනත් අන්තිමට මේ සංස්කාර ස්වභාවයම දුකක්. සංස්කාර තමයි ලොකුම දුක. ඉතින් මේ සංස්කාරවල සියුම් මට්ටම් තුනක් තිබෙනවා. යෝගාවචරව ඒ ධ්‍යාන වඩන පින්වතාට හසුවෙන මේ “ආශ්වාස ප්‍රශ්වාසය” කියන එක. වෙන බාහිර කටයුතු පිළිබඳ තියෙන ඒ ගැහැට කරදර ඒවත් දුකක් තමයි. වෙන එකක් තබා අවම වශයෙන් බලන කොට මේ ආශ්වාස ප්‍රශ්වාසය කියන එකෙත් දුක් ස්වභාවයක් තිබෙනවා. සාමාන්‍ය ලෝකයා තේරුම් නොගත්තත්. කොටින්ම ඒ ආශ්වාස ප්‍රශ්වාස කියන එක හඳුන්වන්නෙ කාය සංස්කාර හැටියට. කාය සංස්කාරය - කාය සංස්කාරයේ සියුම්ම මට්ටම. ඊළඟට වචී සංස්කාරය කියල කියන්නෙ වචනය පිළිබඳ සංස්කාර - වචනය පිළිබඳ අර විදියේ සකස් කිරීම් තමයි - අවම මට්ටමින් බැලුවොත් ඒක දක්වනවා විතක්ක විචාර කියලා. සිත ඇතුළේ සිතිවිලි. නොයෙකුත් විදියේ සිතිවිලි. දැන් යම්කිසි ප්‍රශ්නයක් ආවහම නිදි නැති රාත්‍රියක එහෙම ඔන්න හොඳට දැනගන්න පුළුවන් මේ විතක්ක-විචාර කියන එක මොන දුකක්ද කියලා. නින්ද යන්නෙ නෑ හිතිවිලි. එකක් යන්න එකක් එනවා. බේරෙන්න බෑ. මේක හරියට අඟුරු වළකට දෙ අතින් අල්ලල ඇදගෙන යන්නා වගේ. අන්න විතක්ක - විචාර. ඒකත් දුකක් බව සිත සියුම් වෙන්න සියුම් වෙන්න, ධ්‍යාන මට්ටම්වලට යනකොට, තේරෙනවා. ඒක අර වචී සංස්කාර. ඔන්න ඊළඟට ඊටත් එහායින් තියෙනවා චිත්ත සංස්කාර කියලා. ඒ කියන්නෙ මේ සිත - කෙළින්ම සිත හා සම්බන්ධ. එතැන දක්වනවා සංඥාවයි වේදනාවයි. සංඥාව කියල කියන්නෙ හැඳිනීම. මේ අපේ සිත්වල තියෙනවා එක්තරා ශක්තියක්, යමක් හඳුනා ගැනීමේ ශක්තියක් තිබෙනවා. ඒ වගේම විදීම් ශක්තියක්, ඒක ගැනම තමයි අපි පටන්ගත්තේත් සැප දුක් අදුක්ඛමසුඛ කියලා. ඔන්න ඔය සංඥාවයි වේදනාවයි කියන දෙක ඉතාම සියුම් සංස්කාර. ඒකට කියනවා චිත්ත සංස්කාර කියලා. ඔය සංස්කාර මට්ටමින් මිදෙන්නයි අර අතීත යෝගීන් උත්සාහ දැරුවෙ. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ඒ දැරූ උත්සාහයෙ ඒගොල්ලන්ට පුළුවන් අන්තිම කෙළවරට ගිහින් හිටියා. ඒ ගිහින් හිටිය එක් කෙනෙක් තමයි උද්දකරාමපුත්ත කියල කියන්නෙ. මේ පින්වතුන් අහල තියෙනවා, බුදුපියාණන් වහන්සේ අර ගුරුවරුන් සොයා ගෙන යනකොට ආළාරකාලාම, උද්දකරාමපුත්ත කියල ගුරුවරුන් දෙදෙනෙක් ළහට ගියාය. ආළාර කාලාම කියන ඒ ගුරුවරයා “ආකිඤ්චඤ්ඤායතන” කියන ඉතාම උසස් ධ්‍යාන තත්ත්වයකට ගිහිල්ලා හිටියා. ඊටත් වඩා උසස් නෙවසඤ්ඤා-නාසඤ්ඤායතන කියන තත්ත්වයට උද්දකරාමපුත්ත කියන ශාස්තෘවරයා ගිහින් හිටියා. ඉතින් මේ නෙවසඤ්ඤා නාසඤ්ඤායතන කියන එක - ඒක තේරුම් කරලා ගත්තොත් මෙහෙමයි ගන්න තියෙන්නෙ. “සංඥාව ඇත්තෙත් නෑ. නැත්තෙත් නෑ.” අන්න අපි දැන් එනවා අර සීසෝවට, ‘නෙවසඤ්ඤා නාසඤ්ඤායතන’ සංඥාව නැත්තෙත් නෑ. ඇත්තෙත් නෑ. ඒක තුළ තියෙන්නෙ අර හෙලෙත්තාඩුවක්. දෙගිඩියාවක්, චංචල බවක්, වැට උඩ සිටීමක්. ඔන්න ඔය විදියේ තත්ත්වයකට පත්වෙලයි හිටියේ, ඒ කාලේ යෝගීන්, බුදුපියාණන් වහන්සේ පහළ වෙනකොට. ඉතින් ඒ උද්දකරාමපුත්ත නමයි අන්තිමටම ගිය ශාස්තෘවරයා. මොකක්ද ඔබතුමා උගන්වන්නෙ? කිව්වහම නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය කිව්වා. බුදුපියාණන් වහන්සේ ඒ ශාස්තෘවරයා තොල් හොල්ලනකොටත් ඒක ලබා ගෙනත් ඉවරයි. අතීත සංසාරයේ ඒවා කොතෙකුත් අවස්ථාවල ලබාගෙන තිබුණු නිසා. කොහොම නමුත් එයින් සෑහීමකට පත් උනෙ නෑ බුදුපියාණන් වහන්සේ. මොකද, තාම හෙලෙත්තාඩුව. අර සීසෝවේ මැදට වෙලා හිටියත් ඒක චංචල වෙනවා. එතන නියම ශාන්ත බවක් නෑ. එතන අනිත්‍යයි. ඒකයි බුදු පියාණන් වහන්සේ වදාළේ දුක් වේදනාව - ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒක කටුවක් වගේයි. මහ දුකක්. සැප වේදනාව - ඒක තිබිලා විපරිණාම කියල කියන වෙනස් වෙන අවස්ථාවේදී ඒකේ දුක් ස්වභාවය තේරෙනවා. ඒ නිසා ඒකත් දුකක්. එතකොට දුක් වේදනාවේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒක එහෙම පිටින්ම දුකක්. කටුවක් වගේ - ඇනිච්ච කටුවක් වගේ. සැප වේදනාව වෙනස් වෙනකොට දුකක්. ඒක නිසා නුවණැති පුද්ගලයා කලින්ම දැන ගන්නවා ඔන්න සැප වේදනාවක් එනවා ඒකේ වෙනස්වීමත් එක්ක දැන් දුකකටත් මුහුණ දෙන්න වෙනව කියලා. ඊළඟට අදුක්ඛමසුඛ කියල අපි අර කිව්වේ ‘නොදුක් - නොසුව’ මධ්‍යස්ථ තැන. ඒකයි අර ශාස්තෘවරු මැදින් ලොකුවට අල්ල ගත්තෙ. නමුත් බුදුපියාණන් වහන්සේ පෙන්නුවා ඒකත් අනිත්‍යයි කියලා. මොකද, ඒ විදියේ ධ්‍යාන තත්ත්ව ලබාගෙන බ්‍රහ්ම ලෝකවල ගියත්, කල්ප ගණන් හිටියත්, ආයිත් කරකැවිල එනවා. ඔන්න ඔය විදියෙ තත්ත්වයක්. ඒක නිසයි බුදුපියාණන් වහන්සේ සියලුම සංස්කාරයන් සංසිඳවීම විසඳුම හැටියට දැක්වුවෙ. යම්තාක් වේදනාවල් තියෙනවා නම් සැප හෝ වේවා දුක් හෝ වේවා නොදුක් නොසුව හෝ වේවා හැම වේදනාවක්ම දුකක් කියල බුදුපියාණන් වහන්සේ වදාළා. ඉතින් ඒකම තමයි එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා, “ආනන්ද, සමහර අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින් මෙන්න මේ විදියේ වාදයක් මතුකරාවි. මොකක්ද? මේ ශ්‍රමණ ගෞතමයින්”සංඥා වේදයිත නිරෝධ” කියල අමුතු භාවනා තත්ත්වයක්, අමුතු සමාධි තත්ත්වයක් ප්‍රකාශ කරනවය, ඒක මොකක්ද? ඒක කොයි විදියේ දෙයක්ද? ඊළඟට මෙහෙමයි කියන්නෙ ‘සංඥා වේදයිත නිරෝධ’ කියල විශේෂ ධ්‍යාන තත්ත්වයක් සමාපත්ති තත්ත්වයක් ප්‍රකාශ කරනවය සැපයක් හැටියට. ඒක සැපයක් වෙන්නෙ කොහොමද එතන සංඥා, වේදනා ආදී කිසිවක් නැත්නම්? එතන සැපයක් වෙන්නෙ කොහොමද වේදනාවක් නැත්නම්? එතකොට බුදුපියාණන් වහන්සේ ඒ තර්කය නගන්න පුළුවන් කියල ආනන්ද හාමුදුරුවන්ට කලින්ම කියනවා, එහෙම තර්ක නගන අයට මෙන්න මේ විදියට කියන්න. ඒ භාග්‍යවතුන් වහන්සේ සැපය කියල කියන්නෙ සැප වේදනාවට පමණක්ම නොවේ. යම් යම් තැනක සැපයක් තියෙනවා නම් ඒ ඒ තැන සැපය හැටියට බුදුපියාණන් වහන්සේ දක්වනවා කියල කාරණය පැහැදිලි කරලා දෙන්න කියලා. එයින් පෙන්නුම් කරන්නෙ එතකොට අර ලෞකික සැප නොවෙයි ලෝකෝත්තර සැපයයි. ලෝකෝත්තර සැප වෙනකොට අර වේදනා මට්ටමෙනුත් මිදුනා. මොකද ලෞකික සැප මට්ටම් හැම එකක්ම අනිත්‍යයි. අර කියාපු දුක් වේදනාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සැප වේදනාවත් වෙනස් වෙන කොට දුකක්. ඒ වගේම අර මධ්‍යස්ථ වේදනාව. ඒක තමයි සංස්කාරවල සියුම්ම දුක් ස්වභාවය. ඉතින් ඒකම වෙනත් පැත්තකින් අපි ධර්මානුකූලව විග්‍රහ කරනවා නම් ධර්මයේ දැක්වෙනවා තවත් වටිනා සංකල්පයක්. ගැඹුරු දෙයක් නමුත් අපි ඒක කෙටියෙන් සඳහන් කරනවා. මේ නුවණැති පින්වතුන්ට හිතලා බලන්න. “දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා” කියල දුක තුන් ආකාරයකට දක්වනවා - දුකෙහි මට්ටම්. දුක්ඛ දුක්ඛතා කියල කිව්වේ අර දුක් වේදනාව. තනිකරම දුක්, ගොරහැඩි වශයෙන් බැලුවහම. ඒක කාටත් හඳුනගන්න පුළුවන්. “විපරිණාම දුක්ඛතා” කියන්නෙ සැප වේදනාවල්. ඒක වෙනස්වූ විට දුක නිසා සැප වේදනාවන් විපරිණාම දුක්ඛතා කියල හඳුන්වනවා. ඔන්න ‘සංඛාර දුක්ඛතා’ කියල කියන්නෙ අර කියාපු මධ්‍යස්ථ තත්ත්වයයි. සංඛාර දුක්ඛතා තත්ත්වය තමයි අත්දකින්නෙ. ඒක අත් දකින්නෙ ඇත්ත වශයෙන්ම යෝගීන්, අර කියාපු විදියට හිත දියුණු කළ අය. ඒ අයටයි මේක හරියටම තේරෙන්නෙ මේ සංසාරයේ භයානකකම. එකක්වත් අල්ල ගන්න බැරි බව මේ වේදනාවන්. අර කියාපු සීසෝ පැදිල්ල කෙළවර කරගතයුතු බව. මේ පැවැත්ම වෙනුවටම නැවැත්ම අවශ්‍ය බව. ඒක අවබෝධ කිරීමටයි - ඇත්ත වශයෙන්ම අවබෝධ කර ගැනීමටයි - බුදු පියාණන් වහන්සේ මේ ලෝකෝත්තර ධර්ම වදාළේ. ලෝකෝත්තර කියල කියන්නෙ. එතකොට මෙතන තියෙන්නෙ - අන්න අර අපි කිව්වනේ අදුක්ඛමසුඛ කියල කියන නොදුක් නොසුව වේදනාවට යටින් තියෙන්නෙ අඥානකම නොදැන්ම අනවබෝධය කියලා. අවබෝධයට හරවගත්තු හැටියේ එතන සැප. ඒක ශාන්ත ප්‍රණීත සැපයක් වෙනවා. ඒකමයි බුදුපියාණන් වහන්සේ අන්තිමට නිවන හැටියට දැක්වුවේ. මේ ‘සංඥාවේදයිත නිරෝධ’ කියල කිව්වේ සංඥාවෙනුත් වේදනාවෙනුත් නිරුද්ධ කරන තත්ත්වයක්. බුදුපියාණන් වහන්සේ දැක්වුවා. වෙන කිසිම ශාස්තෘවරයෙකුට බැරි උනා. ඒක ඉතාමත්ම උසස් සමාධි තත්ත්වයක්, සමාපත්ති තත්ත්වයක්. සංඥාවෙනුත් වේදනාවෙනුත් මිදිලා. ඒකෙන් නැගිටින්නෙ ඊළඟට නිවනට. ඒ කියන්නෙ එහෙම පිටින්ම සංස්කාරවලින් මිදුනා. සංස්කාරවලින් මිදීමමයි ඉහළම සැපත. ඒක තමයි ලෝකෝත්තර සැපත. එහෙම නැත්නම් නිවන හැටියට දක්වන්නෙ. ඉතින් එතෙන්දි බුදු පියාණන් වහන්සේ අර අවබෝධය හැටියට දැක්වුවෙ මොකක්ද? ඔන්න අපි ආයෙත් අර සීසෝවට එමු. මේ සීසෝ පැදිල්ලට හේතුව මොකද? අර මැදින් දාපු අඩය නේ. මැදින් දාපු අඩය උඩයි මේ ලෑල්ලක් දැම්මෙ. අන්න ඒක අහක්කළා, බුදු පියාණන් වහන්සේ. මොකක්ද? මේ අඩය. ඒක ධර්මයෙ හඳුන්වන්නෙ “අස්මිමාන” කියලා. “වෙමි” කියල කියන මානය. ඒකේ ගොරෝසු පැත්ත තමයි ඔය පින්වතුනුත් අහල ඇති ඔය සක්කායදිට්ඨි කියලා කියන්නෙ මමය, මාගේය කියලා. මේ හැම දෙනෙක්ම දැන් කතා කරනවා අහෙන්නෙ සක්කායදිට්ඨිය ගැන. රූපය ආත්මයයි, වේදනාව ආත්මයයි, ඔය ගොරහැඩි විදියට එන ආත්ම සංකල්පය. ඕකෙ සියුම්ම මට්ටම තමයි ‘වෙමි’ කියන එක. ‘වෙමි’ කියන මානය. ඒක ඉතාමත්ම සියුම් මට්ටමකින් තිබෙනවා. වෙන එකක් තබා ඔය අනාගාමී තත්ත්වය දක්වාම ඒක තිබෙනවා. ඉතින් ඒක තිබෙනතාක් අර කියාපු සීසෝ පැදිල්ල තියෙනවා. භවය තියෙනවා, පැවැත්ම තියෙනවා. නමුත් බුදු ඇසට පෙනුනා මේක දුකක්. මොකද මේ කර්ම වේග අනුව අර පැවැත්ම තුළින් නානාප්‍රකාර භවවලට වැටිලා - දුගති තත්ත්ව වලට සුගති තත්ත්ව වලට - දීර්ඝකාලයක් සංසාරයේ සැරිසරන්න වෙනවා. එකම විසඳුම මේ භවයෙන් මිදීමයි. ඒකට කියන්නෙ භව නිරෝධයයි. අර කියාපු අර පැදිල්ල නතර කිරිල්ලයි. ඒකට ඕන කරන්නෙ අර විදියට වේදනාවන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගෙන, මේ වේදනා කියන හැම එකටම මූලික වෙන්නෙ මමය, මාගේ කියන එකටත් වඩා යටින් තියෙන ‘වෙමි’ කියන එක. ‘අස්මිමානය’ කියල දක්වනවා. ඒක අර වචනයෙන් ලබාගන්න දෙයක් නෙවෙයි. මේ ධර්ම මාර්ගයේ යාම තුළිනුයි ඒක ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් වන්නෙ. එතකොට මේකයි ‘නිවන’ කියල කියන්නෙ. ඕක පිළිබඳව නොයෙකුත් විදියට කතා කරනවා, අපි මේ පොඩි උපමාවක් ආශයෙන් දැක්වුවේ. දැන් මෙතන මොකද මේ “නිබ්බාන පරමං සුඛං” කිව්වෙ කියන එකයි ටිකක් හිතලා බලන්න ඕන. මේ ප්‍රස්තුතයට අදාළ නිසයි අපි මේක එළියට ගත්තෙ. නිවන පරම සැපත කියල කිව්වෙ මොකද? දැන් පසේනදී කොසොල් රජ්ජුරුවෝ නම් අර කියාපු කාරණා හතර සැප හැටියට දැක්වුවා. බුදුපියාණන් වහන්සේ එතනින් නතර කළේ නෑ. “ඔව් ඔව් මහරජ ඕක තමයි ලොකුම සැපත. අපිටත් නෑයෝ වුණු එකත් ලොකුම දෙයක්” කියල බුදුහාමුදුරුවෝ ප්‍රශංසා කළේ නෑ. “බොහොම හොඳයි අපිත් නෑයො” කියල කිව්වේ නෑ. එතන ලෞකික මට්ටමෙන් නතර කළේ නෑ. නිවන දක්වාම අරගෙන ගියා. රජ්ජුරුවන්ට ඉඟියක්වත් දුන්නා. ඕව නෙවෙයි නියම සැපත. නිරෝගිකම, ඒකත් නිත්‍ය නෑ. රෝගත්තං හි අරෝග්‍යන් - ආරෝග්‍යයේ, නිරෝගී බවේ කෙළවර තමයි රෝගය. ඉතින් ඒක නිසා ඒක හඳුන්වන්න පුළුවන් ‘ආරෝග්‍ය පරමා ලාභා’ කියන එක ලාභයක් තමයි. ලාභයන් අතර නිරෝගීකම උතුම්. නමුත් ඒක ලොකුම සැපත නෙවෙයි. ‘සන්තුට්ඨි පරමං ධනං’ ලද දෙයින් සතුටු වීම. එහෙම නැත්නම් වෙන ධන අරව මේව, ඒවත් ධනය නමයි. නමුත් එතනම සැපත නෑ. “විස්සාස පරමා ඤාති” - ඔය ඥාතීන් පිළිබඳ ප්‍රශ්නයේදී නෑකම් ඇති කරගත්තත්, විශ්වාසය තියා ගෙන හිටියත්, ඒ කොයි එකකවත් නියම සැපතක් නෑ. මේ හැම එකක්ම සංස්කාර ගොඩක් විතරයි. මේ හැම එකක්ම සංස්කාර. එතකොට ‘සබ්බ සංඛාර සමථ’ කියල කියන අන්න අර සංස්කාර වලින් මිදීමමයි ඉහළම සැපත. ඒකයි බුදුපියාණන් වහන්සේ මතුකරලා දැක්වුවේ මෙතන. “සබ්බසංඛාර සමථෝ” කියල නිවන හඳුන්වනවා. සියලු සංස්කාරයන් සංසිඳවීම. දැන් අපි කෙටියෙන් සඳහන් කළා මේ සංස්කාර කියල කියන්නෙ මොනවද කියල. ඇත්ත වශයෙන් සංස්කාරවල ගොරෝසු හරිය තමයි ඔය කර්ම හැටියට තියෙන්නෙ. ඒව මේ පින්වතුන් අහලත් ඇති දැන් අකුසල කර්ම කළොත් - ඒක නම් කවුරුත් දන්නවනෙ - පාප කර්ම කළොත් අපායවල දුක් විඳින්න සිද්ධ වෙනවා. අකුසල් කළොත් එහෙම. ඉතින් ඒකට පළමුවෙන්ම බයයි. ඊළඟට සමහර විට ඒක නිසා අපි ඒ වෙනුවට පින් කරලා දිව්‍ය ලෝකේ යමු කියල හිතාගන්නවා. ඒ ගියත් චුත වෙන වේලාවේ බොහොම දුකයි. එතනින් ගිහිල්ල ඊළඟට කොහේ වැටෙනවද කියල නෑ. දිව්‍යලෝක පමණක් නෙවෙයි බ්‍රහ්මලෝකත් අනිත්‍යයි කියල බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඒක නිසා නමයි. බුදු පියාණන් වහන්සේගේ ධර්මය දේශනා කරන කොට බ්‍රහ්මයින් පවා හෙල්ලුම් කෑවයි කියල කියන්නෙ. අපිත් අනිත්‍යයි. අපි මෙච්චරකල් හිතාගෙන හිටිය නිත්‍යයි කියල දැන් බලනකොට අපිත් අනිත්‍යයි කියල බය උනා. ඒ කියන්නෙ සිංහනාදය. බුදුරජාණන් වහන්සේ සිංහනාද කළා. මේ ‘සබ්බසංඛාර’ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියල කියන කොට ඒ බ්‍රහ්මයින් පවා හෙල්ලුම් කෑ බව සඳහන් වෙනවා. අන්න ඒ විදියේ තත්ත්වයක් එතකොට මේ ලෞකික දේවල්වල තිබෙන්නෙ. ඉතින් ඒක නිසා බුදුපියාණන් වහන්සේ දක්වනවා ඒ හැම එකකින්ම මිදිලා අර සංස්කාර තත්ත්වයෙන් මිදිලා විසංස්කාර වූ නිවන. ඒ කියන්නෙ මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය, සංස්කාරයන් ඇතිවෙන්නෙ අවිද්‍යාව නිසා නම්, දැන් සැප දුක්වලට හේතුවන පින් පව් හැම එකක්ම කරන්නෙ මමය, මාගේය කියන අවිද්‍යාව උඩ ඉඳගෙනයි. ඒක හිතූ පමණකින් මිදෙන්න බෑ. ක්‍රමානුකූලව භාවනාව දියුණු කර ගැනීම තුළින් තමයි ඒක අවබෝධ කරගත යුත්තේ. නමුත් අර අපි කලිනුත් අවස්ථාවල් වල ප්‍රකාශ කරලා ඇති, අකුසල් වලින් පව්වලින් ඉවත්වෙලා හිත පිනට නැඹුරු කරනවා. ඊළඟට එතනින් නවතින්නෙත් නැතුව ක්‍රම ක්‍රමයෙන් පින්පව් දෙකෙන්ම ඉවත්වෙන විදියට භාවනාවක යෙදිලා ක්‍රම ක්‍රමයෙන් විදර්ශනාවෙන්, විදර්ශනා වශයෙන් අනිත්‍ය, දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය දැකලා සසර ගැන කලකිරිලා තමයි යම් කෙනෙකුට මේ සසරින් මිදෙන්න පුළුවන් වෙන්නෙ. නිර්වාණය කියන ඒ උතුම් තත්ත්වය මෙලොවම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වන්නෙ. ඒ තත්ත්වය තමයි අන්න අර සී-සෝ පැදීමේ කෙළවර. අනික් පැත්තට ගත්තොත් ඕක කරා යන මාර්ගය තමයි මේ මුළු මහත් බෞද්ධ ප්‍රතිපදාවම. මේ පින්වතුන්ට අපි නිතර මතක්කරල තියෙන්නෙ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියල කියන කෙටියෙන් ගත්තොත් - තව නොයෙකුත් සතර සතිපට්ඨාන ආදී විදියට - බෞද්ධයා හික්මෙන ප්‍රතිපදාවේ අර්ථය මොකක්ද? හිත අර තත්ත්වයට ගෙන ඒමයි. අර කියාපු ‘අස්මිමානය’ කියන යටත් පිරිසෙයින් ‘වෙමි’ කියන මානය පවා ඉවත් කරලා තමන්ගේ ජීවිතය හරියට මේ ගහකොළං එක්ක ජීවත් වෙන්නා වගේ. දැන් ගස් කොළං ආදියට විඤ්ඤාණයක් නැති නිසා ඒවාට දුකක් කියල දෙයක් නෑ. රබර් ගහකට ඇන්නහම කිරි එනවා තමයි. නමුත් ඒකට දුක්වේදනා ඇතිවෙනවා කියලා අපි හිතන්නෙ නෑ නෙ. ඒ ගස් කොළං වලට නෑ. ඒ විදියේ ප්‍රශ්නයක්. නමුත් සවිඤ්ඤාණක - විඤ්ඤාණය සහිත සත්ත්වයාට තමයි මේ දුක තියෙන්නෙ. ඒ වගේම මෙතනින් කෙළවර වෙන්නෙ නෑ පැවැත්ම. ඒක බුදු පියාණන් වහන්සේ පමණක් නෙවෙයි අනික් යෝගීන් - පෙර විසූ කඳ පිළිවෙළ පෙනෙන අනික් යෝගීන් - පවා දැක්කා. බුදුපියාණන් වහන්සේට කලින් අතීත ජාති සිය දහස් ගණන් පෙනෙන යෝගීන් හිටියා. ඒ අයත් දැක්කා මේ සංසාර ප්‍රශ්නය. ප්‍රශ්නය දැක්කා, උත්තරේ සොයා ගන්න බැරි උනා. බුදුපියාණන් වහන්සේට විතරයි ඒකට නියම උත්තරේ සොයා ගන්ට පුළුවන් උනෙ. එතකොට කර්ම - අපි මේ කර්ම රැස් කරනවා කියල කියන්නෙ අන්න අර සංස්කාරවල ගොරෝසු මට්ටම. පින් පව් කියල දෙකක් අපි ඇති කරනවා. ඒවාට අපි වග කියන්න ඕන. මොකද පින් පව් කියන ඒවා කරන්නෙ මමය, මාගේය කියන ප්‍රස්තුතය උඩ ඉඳගෙනයි. අපි මේවා විශේෂයෙන් මතක් කරන්නෙ මොකද, හුඟක් දෙනෙක් දැන් මේව අවුල් කරගෙන. “කම්මස්සකතා සම්මාදිට්ඨි” කියල එකක් තියෙනවා. කර්මය තමාගේ කොට ඇති සම්‍යක්දෘෂ්ටිය. ඒක පිට ඉඳගෙන අපි අර පාප කර්මවලින් ඉවත්වෙලා අකුසල් කර්මවලින් ඉවත්වෙලා කුසල් කර්මවලට හිත නතුකරනවා. ඊළඟට කුසල්කම් කරනවා. ඒක තුළින් හොඳ ආත්මභාව ලබාගන්නවා සුගති ආදී. ඒක තුළින් ඒ සැකැස්ම ඇති උනාට එතනින් සෑහීමකට පත්වෙන්නෙ නෑ. අපි බුදුපියාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව අනුව බලන කොට, මේ එකක්වත් අල්ල ගන්නෙ නෑ. හැම එකක්ම උපකාර කර ගන්නවා. අර ආහාරය ගැන කිව්ව වගේ තමයි. මේ හැම එකක්ම උපකාර කර ගන්නවා. එවැනි එකක් තබා ධ්‍යාන තත්ත්ව පවා. ඉතින් ඒක නිසා පින්, කුසල්, ඔවා උපකාර කරගෙන අපිට බණ භාවනා කරන්න පුළුවන්. යම් යම් උපධි සම්පත්ති ඇති හොඳ ඥාන ශක්ති ඇති ජීවිත ලබා ගන්නවා. එයින් සෑහීමකට පත් වෙන්නෙ නෑ. එයින් සෑහීමකට පත් වෙලා හිටියොත් ආයිත් අර පාපකම් මතුවෙලා කිසිම දියුණුවක් නැතිව නැවත අපායගාමී වෙනවා. ඒ වෙනුවට ඊළඟට උපකාර කර ගන්නවා, අර සමථ භාවනාව වඩලා සිත සමාධිගත කරගෙන ඒක පාදක කරගෙන බුදුපියාණන් වහන්සේ දක්වන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. ඒකට විශේෂ කර්මස්ථාන, භාවනා කර්මස්ථාන අරගෙන බණ භාවනා කරලා, තමන් තුළින්ම ඒක දකින්ට ඕන. මොකද, බුදුපියාණන් වහන්සේ දක්වන්නෙ තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කරගතයුතු ධර්මයක්. මේක බාහිරව වෙන කෙනෙක් ඇවිල්ලා කියලා, එයින් ලබාගන්න දෙයක් නෙවෙයි. තමන්ගේ මේ පංචස්කන්ධය තුළින්ම දකින්න ඕන. මේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය - රූප ගොඩ, වේදනා ගොඩ හැඳිනීම් ගොඩ, සකස් කිරීම් ගොඩ, හිත් ගොඩ මේ හැම එකක්ම ගොඩක් හැටියට අවබෝධ කරගන්න ඕන, ඉස්සෙල්ලා, අපි මේකට ස්කන්ධ පංචස්කන්ධ කියල කියන්නෙ ගොඩක් හැටියට. ගොඩක් කියලා කියන නමුත් සාමාන්‍ය පුද්ගලයාට මේක ගොඩක් බව වැටහෙන්නෙ නෑ. මේක එකක් හැටියට ගන්න ස්වභාවයක් තියෙනවා. ඒක දකින්න පුළුවන් වෙන්නෙ අන්න අර භාවනා යෝගියාටයි. ක්‍රමක්‍රමයෙන් හිත සමාධිමත් වෙලා මේකට මෙනෙහි කිරීම යොමුකරන කොට පේනවා මෙතන, රූපත් මෙතන ගොඩක්. වේදනාත් ගොඩක්. ඉතින් මේක ගොඩක් නම් ඉන් එක එකක් ඇතිවෙනවා වගේම නැතිවීමකුත් තියෙනවා. ඇතිවීම් නැතිවීම් ගොඩක් මෙතන තියෙන්නෙ. ඇතිවෙන දේවල් ගොඩකුයි නැතිවෙන දේවල් ගොඩකුයි නෙවෙයි අන්තිමට බලාගෙන යනකොට ඇතිවීම් නැතිවීම් ගොඩක් විතරයි. ඔය විදියට ගැඹුරු අන්දමින් පේන්න පටන් ගන්නවා. එතකොට අර මේකට තියෙන ඇල්ම නැති වෙනවා. මේ දිරාපත් වෙන දෙයක්. දිරන දෙයක්, කඩා වැටෙන දෙයක්. මේක බදාගත්තොත් මාත් ඒ එක්කම ඉවරවෙනවා නේද කියලා. ඔන්න එතකොට තමයි අතහරින්න හිතෙන්නෙ. අතහැරීම එන්නෙ. අතහැරීම පිළිබඳ විමුක්තියේ මූලික සංඥාව එන්නෙ. ඒ විදියට ක්‍රම ක්‍රමයෙන් අතහැර ගිහිල්ලා - දැන් අර කියාපු ආළාර කාලාම, උද්දකරාමපුත්ත ආදීන්ට වුණු වැරදීම මොකක්ද? අර කියූ ධ්‍යාන මට්ටම ලැබුණු හැටියේ ඒකෙ සැපයෙ ගැලිල ඒක අල්ල ගත්තා ආත්මය හැටියට. ඒක ආත්මය හැටියට ගත්තු නිසා තමයි ඒ අයට සසරින් එතෙර වෙන්න බැරිඋනේ. බුදුපියාණන් වහන්සේ දැක්වුවා මේ හැම එකක්ම - හේතු ප්‍රත්‍යරාශියක් නිසා ඇතිවන දෙයක් මේ පැවැත්ම කියන එක. ඒ හේතු ප්‍රත්‍ය රාශිය හරියට දකින කොට ඒක තුළ තියෙන ආත්ම සංඥාව මමය, මාගේය කියන හැඟීම, ක්‍රමක්‍රමයෙන් ඉවත්වෙනවා. ඒක දකින්න දකින්න. ගැඹුරින් දකින්න දකින්න. එතකොට ඒකයි මේ ත්‍රිලක්ෂණය කියල කියන්නෙ. යමක් අනිත්‍ය නම් ඒක දුකක්. මොකද අනිත්‍ය දේ නිතරම සකස් කර කර ඉන්න වෙනවා. සංස්කාර කියල කියන්නෙ සකස් කිරීම් ගොඩක්. අර කෙහෙල් කඳේ උපමාව අපි නිතරම මතක් කරල දීල තියෙනවා. බුදුපියාණන් වහන්සේ සංස්කාර කෙහෙල් කඳකට උපමා කරලා තියෙන්නෙ මොකද? හරයක් නෑ. අරටුවක් නෑ. මෙතන තියෙන්නෙ මේ හේතු ප්‍රත්‍ය රාශියක් විතරයි. අඥාන පුද්ගලයා මේක හරයක් ඇති අරටුවක් ඇති ලියක් හැටියට ගන්නවා. ඒ වගේ අපි මේ රූපස්කන්ධය මේකට නමකුත් දාලා මේ මම අහවලාය කියල ඒ විදියට ගන්නවා. අනික් දේවලුත් එහෙමයි. හිත අන්තිමටම. ඒක ඉතාමත් සියුම්. මමය, මාගේය කියල අල්ල ගන්නවා හිත. ඒ යෝගීන් එහෙම, මිථ්‍යාදෘෂ්ටික යෝගීන් අන්තිමට ගිහිල්ලා අල්ලගන්නෙ මේ හිතයි. විඤ්ඤාණයයි. ඒක ආත්මය හැටියට අල්ල ගත්තා. නමුත් බුදුපියාණන් වහන්සේ දක්වා වදාළා මේ හැම එකක්ම සංස්කාර ගොඩක්. සංස්කාර ගොඩක් උඩයි මේ විඤ්ඤාණය කියන මේ හිත තියෙන්නෙ. අන්න ඒක නිසා මේ විඤ්ඤාණයත් - කොටින්ම කියතොත් මේ හැම එකක්මත් - දුකක් හැටියට බුදුපියාණන් වහන්සේ දැක්වුවා. පංචස්කන්ධයම දුකක්, මේ භවයේ ඉන්නතාක්. මේක ඉතාම සියුම් අන්දමින් කල්පනා කරලා බලන කොට මුළු මහත් භවයම දුකක් කියලා. ඉතින් මේක කෙනෙකුට හිතා ගන්න අමාරුයි. අපි ඒකයි අර තවත් උපමාවකින් දක්වන්නෙ. බුදුපියාණන් වහන්සේ අසම සම වෛද්‍යවරයෙක් හැටියට දක්වන කොට රෝගයේ නියම තත්ත්වය කියන්න සිද්ධ වෙනවා. එහෙම පිටින්ම මේ රෝගය සුව කරන්න නම් මුළු මහත් සංස්කාර ගොඩෙන්ම මිදෙන්න ඕන. ඒ සංස්කාර තමයි අන්තිම අර අවම මට්ටමින් බැලුවහම අර කියාපු විදියට ක්‍රමක්‍රමයෙන් සංසිඳවගෙන ගිහිල්ලා අශ්වාස ප්‍රශ්වාස, ඊළඟට විතක්ක විචාර ඊළඟට සංඥා - වේදනා ආදී වශයෙන් සියුම් මට්ටමින් ගිහිල්ලා අන්තිමට මුළු මහත් වේදනාවන්ගෙන්, ඒවායින් මිදුනා. ඒකයි මේ නිවනට අවේදයිත සුඛයක් කියල කියන්නෙ. අවේදයිත සුඛයක්. මේ පින්වතුන් අහල ඇති මේ ලෝකයේ තියෙන්නෙ ඔක්කොම විඳීම් සුව, නිවන සංසිඳීම් සුවය. අනික් හැම එකක්ම විඳීම් සුවත් නිවන සංසිඳීම් සුවය. එතකොට අන්න ඒ සංසිඳීම - සංහිඳියාව - කරා යන ගමන තමයි මේ නිර්වාණ ප්‍රතිපදාව. ඒකට අදාළව තමයි බුදුපියාණන් වහන්සේ නිබ්බානපරමං සුඛං කියල මෙතෙන්දී වදාළේ. නිවන තමයි පරම සැපත. එතකොට අපි කල්පනා කර ගන්න ඕන අද මේ වටිනා දවසේ මේ පින්වත් පිරිස අර ලෞකික වශයෙන් හිතලා අපි මේ ලෞකික ජීවිතය කියල හිතන, එදිනෙදා ජීවිතය කියල හිතන, ඒ ජීවිතය පවා වෙනදට වඩා සැනසිලිදායකව අර කියපු අපි ආරම්භ කරපු ආකාරයට සැපය, සහනය, සැනසීම ඇතිව ජීවත් වෙන්න උපකාර වෙන ධර්ම කාරණා රාශියක් වගේම මෙතනින් සෑහීමකට පත්වෙන්නෙ නැතිව මේ මුළු මහත් සංසාර පැවැත්ම - මෙතෙක් කල් කරගන්න බැරිවුණු වැඩේ - මේ සසර කෙළවර කර ගැනීම. ඒකට උපකාරවන නිවන පිළිබඳව යම්කිසි අවබෝධයක් මේ කෙටි ධර්ම දේශනාව තුළින් මේ පින්වතුන්ට ලැබුණාය කියල හිතාගන්නට ඕන. මේ පින්වතුන්ට අර අපි නිතර මතක් කරන ආකාරයට නිවනට උපකාරවන ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බලධර්ම වඩා ගැනීමට හොඳ අවස්ථාවක් සැලසුනා. මේ ශක්තීන් දියුණු කරගෙන මේ ජීවිතයේදීම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන මේ බුද්ධ ශාසනය තුළදීම වෙන විශේෂ ප්‍රාර්ථනා නැත්නම් හොඳ හැටි භාවනා කරලා සීල, සමාධි, ප්‍රඥා වඩලා සෝවාන් සකදාගාමී, අනාගාමී, අර්හත් කියන මාර්ගඵල ප්‍රතිවේධයෙන් සියලු සංසාර දුකින් මිදිලා අර කියපු සංසිඳීම් සුවය, පරම සුඛය සාක්ෂාත් කර ගැනීමට මේ ධර්මශ්‍රවණමය කුසල සම්පත්තිය ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා! කියල ප්‍රාර්ථනා කර ගන්න. ඒවගේම යම්තාක් අවීචියේ සිට අකනිට්ඨා දක්වා සත්ත්වයින් සිටිනවා නම් තම තමන්ගේ ඥාතීනුත් ඇතුළු නිවන් කැමති පින් කැමති, මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසල සම්පත්තිය අනුමෝදන් වීමෙන් ප්‍රාර්ථනීය බෝධියකින් හැකිතාක් ඉක්මණින් මේ සංසාර දුක කෙළවර කරලා ජාති ජරා ව්‍යාධි සහ මරණ ආදී සියලු දුක්වලින් අත් මිදිලා උතුම් අමා මහ නිවනින් සැනසෙන්වා කියන ප්‍රාර්ථනාවත් ඇතිකරගෙන මේ විදියට ගාථා කියලා පින් පමුණුවන්න. ‘එත්තාවතා ච අම්හේහි ……………’